ජනතා පූජෝපහාර මැද අනුබුදු හිමි-සම්බුදු සිරිපා අනුරූ රැගත් පෙරහර මිහින්තලයට
ගිරිඋල්ලේදීත් වන්දනාමාන
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනයෙන් වසර 2325ක් සපිරීම සහ මිහින්තලා ලේක්හවුස් වාර්ෂික ආලෝක පූජාව 56 වන වරටත් මෙවරද පැවැත්වීම නිමිත්තෙන් මිහින්තලා රාජමහා විහාරාධිපති සහ භාරකාර වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිගේ අනුශාසනා පරිදි ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ සහ සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් නිර්මාණය කරන ලද සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ ජනක එදිරිසිංහ මහතා ඇතුළු පිරිසගේ දායකත්වයෙන් නිර්මාණය කරන ලද මිහිඳු ප්‍රතිමා වහන්සේ (දැවමය) රැගත් රිය පෙරහර ඉකුත්දා (6) කොළඹ ලේක්හවුස් මන්දිරයෙන් ඇරැඹුණු අතර එම රිය පෙරහර පසුදා (7) යක්කල සලීලදස්සනාරාමයේ සිට කුරුණෑගල, කොහිලපොකුණ විහාරය දක්වා එදිනම (7) ගමන්ගත් අතර මගදිගට රැඳී සිටි ජනතාවගේ පූජෝපහාර මධ්‍යයේ ගමන් කිරීම සිත් පහන් කරවන දසුනක් විය.
එහිදී නාපාගොඩ පිරිවෙන් විහාරාධිපති උණවටුනේ සුමන නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක පින්වතුන්ගේ ද මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති සීතාඑළියේ චන්ද්‍රානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි දර්ශනීය පෙරහරක් මගින් එම විහාරස්ථානයේදී ද අනතුරුව දඹදෙණිය විවිධසේවා සමුපකාර සමිතිය අසලදී ද, දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රාජමහා විහාරයේදී භාරකාර විහාරාධිපති නාරංගොඩ සිරිනිවාස නාහිමියන්ගේ ද බමුණාවෙල පුරාණ ගල්ලෙන් විහාරයේදී විහාරාධිපති බුළුපිටිගම නන්දසාර හිමියන්ගේද යම්තම්පලාව කොහිලපොකුණ විහාරයේදී කුරුණෑගල ඉන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ද පින්කම් හා පූජෝපහාර පැවැත්වීම් සංවිධාන කර තිබුණි. එහිදී උඩුදුම්බර සෝභිත හිමියන්ගේ විශේෂ දහම් දෙසුමක් ද එහිදී පැවැත්විණි. බුදුසරණ කර්තෘ මණ්ඩල උපදේශක සීසර් සුදුසිංහ ඇතුළු ලේක්හවුස් සේවක පිරිසක් ඊට එක්ව සිටියහ.