පුරාණ ඉදිකිරීම්
පුරාණයේ සිටම මිහින්තලය නැගීමට පියගැට විශාල සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත. එම ඉදිකිරීම් දේවානම්පියතිස්ස රජතුමා විසින් ආරම්භ කර ඇති අතර විහාර ගෙයක් ද, භික්ෂුන් වහන්සේලාට වැඩ විසීම පිණිස ගුහා 68 ක් ද ඉදිකරවා ඇත. ඉන් අනතුරුව මිහින්තලය ආශිතව විහාරාරාම කිහිපයක් ඉදි වී ඇති අතර ඒවා එම යුගයට ආවේණික වූ ලක්ෂණ දරණු දැකිය හැකිය.
සෙල්ලිපි,මැඩපත්,ලෙන්ලිපි,කටාරම් ලිපි ආදි පුරාවිද්‍යාත්මක සාධක තුලින්ද මිහින්තලා ඉතිහාසය පිළිබඳ තොරතුරු හමුවේ.මිහිඳුහිමියන්ගේ පැමිණිම පිළිබඳ කරුණු ඇතුළත් සෙල්ලිපියක් හමු වී ඇති අතර මෙම සෙල්ලිපිය කැඩිබිඳි අබලන්ව ගිය එකකි.එහි එන “මහිද තෙරභව,භද්‍රසාල තෙරභ,ඉට්ටක තෙරභව,පති තෙරභව”යන පාඨය අනුව මෙම ධර්මදුත ව්‍යාපාරයට සහභාගිවුවන් පිළිබඳ තොරතුරු සඳහන් වේ. මිහිදු මහරහතන් වහන්සේ ලක්දිව පැමිණ 27වන දිනයෙහි වස් විසීම පිණිස මිහින්තලයට වැඩියහ.මිහින්තලයේ වස් විසීම සඳහා භික්ෂුන් වහන්සේලා 60 නමක් සිටි අතර එහි වස් විසීමට ආවාස නොමැති නිසාවෙන් කණ්ඨක චේතිය අසල ලෙන් පිරිසිදු කරවා ආවාස හැටියට සකස් කරවීය.මෙම ලෙන්වල ලිපිවලින් මිහින්තලා ඉතිහාසය පිළිබඳ තොරතුරු හමුවේ.
ගෘහ නිර්මාණ ක්ෂේත්රය අතින් මිහින්තලය සුවිශේෂ ස්ථානයක් හිමිකරගන්නා අතර එම ගෘහ නිර්මාණ වාස්තු විද්‍යාත්මක වශයෙන්ද ඉතා වැදගත් වේ. එම ගෘහ නිර්මාණ අතර ආරාම ,වෙදහල, දාන ශාලාව,සන්නිපාත ශාලාව,පෝය ගෙවල්,භාවනා ශාලා,ආරෝග්‍ය ශාලාව,සිමා මාලක සහ සක්මළු ආදී නිර්මාණ සුවිශේෂ ස්ථානයක් හිමිකරගැනීමට සමත් වී ඇත.
රෝහල
මිහින්තලය කඳු පාමුල පැරණි රෝහලක නටඹුන් ද , බෙහෙත් ඔරුවක් ද, එම යුගයට අයත් යැයි සැලකිය හැකි ගොඩනැගිලි වල කොටස් ද දැකිය හැකිය. රෝහල සහ කඳුමුදුනට ගමන් කරන පඩිපෙල අතර විශාල අසපුවක නටඹුන් දැකිය හැකිය.පැත්තක් අඩි 125 ක්වූ හතරැස් ගොඩනැගිල්ලට පහලින් අලංකාර ගල් කැටයම් ද, ගලින් කරන ලද බරාඳි වැටවල්ද,මුරගල් ද පිහිටා ඇත. මේ ප්‍රදේශය අධික ප්‍රපාත වූ බැවින් පඩි පිහිටා ඇත්තේ නැගෙනහිර බෑවුමට වන්නටය. එහි පඩි 1840ක් කඳු මුඳුන දක්වා පිහිටා ඇත.
කණඨක චේතිය
මෙය සුරතිස්ස රජතුමා විසින් කරවන්නට ඇති බව විශ්වාස කෙරේ. එහි පේසාවළලු සහ ඉදිරි කොටසේ සෑහෙන තරම් තවමත් ඉතිරිව පවතී. එය බහිරව රූප හා ඇත් රූප වලින් අලංකාරව ඇත. ස්ථූපය අඩි 425.5කින් යුක්තය. එහි අඩි 40 ක් පමණ උස් වූ ස්ථූපයක නටඹුන් දැකිය හැක. භික්ෂුන් වහන්සේලා මෙම ස්ථූපයට ආසන්නයේ ඇති ගල් ගුහා වල වෙසෙන්නට ඇත. මෙම ස්ථූපය කරවා ඇත්තේ “ ලජ්ජිතිස්ස” රජතුමා විසින් බැවින් එය අයත් වන්නේ පලමු බුද්ධ ශතවර්ශයටය බව සිතිය හැක.
භෝජන ශාලාව
භෝජන ශාලාව පිහිටා ඇත්තේ තුන්වන පඩිපෙල අවසානයේ පිහිටා ඇති මළුවෙහි වම් පැත්තට වන්නටය. එය සෘජුකෝණාස්රාකාර වන අතර දිගින් අඩි 62ක් ද , පළලින් අඩි 25 ක් ද වේ. එය වටා ගබඩා කාමර පිහිටා ඇත. ජලවහන පද්ධතියක කොටස් ඒ අසලින් සොයා ගෙන ඇති බැවින් ඉතා ක්රමාණුකූල ජල සම්පාදන ක්‍රමයක් තිබෙන්නට ඇතිබව විශ්වාස කෙරේ. භෝජනාගාරය අසල ආහාර ගබඩා කර තබන්නට ඇතැයි විස්වාස කෙරෙන ගල් භාජන 2ක්ද දක්නට ඇත. ගොඩනැගිල්ලට ඇතුළුවන පැති දෙකකින් විශාල ශිලා ලේඛන දෙකක් පිහිටා ඇත. ආරාමයේ පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය නීති රෙගුලාසි මෙහි සටහන් කර ඇත. මෙය මිහිඳු රජතුමා විසින් කරවා ඇති අතර සේවය කරන්නන්ට ගෙවන ගෙවීම් ද සඳහන් කර ඇත. ඊට නොදුරින් තවත් තැනිතලාවක භික්ෂුන් වහන්සේලා හමුවී ධර්මය හා විනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට ඇතැයි සැලකේ. එය විවෘත ගොඩනැගිල්ලක් වන අතර පැත්තක් අඩි 62කි. ගල් කණු 48 ක් මත පිහිටා ඇත. ගොඩනැගිල්ල මධ්‍යයේ දොරටු 4කින් යුතු වේදිකාවක් ද පිහිටා ඇත.
අම්බස්තල දාගැබ
මෙය කඳු මුදුනට ආසන්න වූ තැනිතලාවක පිහිටා ඇති අතර මාතලන්තිස්ස රජතුමා විසින් ඉදි කරවන්නට ඇතැයි විශ්වාස කෙරේ.මිහිඳු මහරහතන් වහන්සේ හා දේවානම්පියතිස්ස රජතුමා අතර ඇති වූ ඓතිහාසික හමුවේදී දේවානම්පියතිස්ස රජතුමා සිටින්නට ඇතැයි සැළකෙන ස්ථානය සිහිගැන්වීම සඳහා මෙම දාගැබ ඉදිකරවා ඇත.
මිහිඳු ගුහාව
මිහිඳු ගුහාව මිහිඳු මහනාහිමියන් සැතපී විවේක ගත් ස්ථානයයි.අම්බස්තල දාගැබේ සිට කඳු බෑවුම් දෙසට ඇති කුඩා අඩිපාර මිහිඳු ගුහාව තෙක් විහිදේ. සියළුම ගුහා වලින් වඩාත් ප්‍රසිද්ධ හා බෞද්ධයින්ට වඩාත් පූජනීයවන්නේ මිහිඳු ගුහාවයි.
මහා සෑය
මිහින්තලය කඳු මුදුනේ පිහිටා ඇති විශාල චෛත්‍යය මහා සෑයයි. එය මහදාතිත මහානාග රජතුමා විසින් ඉදිකරවා ඇති අතර අඩි 136 ක විශ්කම්භයකින් යුක්තය.
ආරාධනා ගල
ආරාධනා ගල මහාසෑයට මුහුණලා පිහිටා ඇත.මහාවංශයේ සඳහන් වන පරිදි අහසින් වැඩිය මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස පළමුවෙන්ම ශ්‍රි ලංකා ද්වීපයෙහි පය තැබුවේ ආරාධනා ගල මුදුනටය. අම්බස්තලය දාගැබ පසුකර බටහිර දෙසට යනවිට මුණගැසෙන නාග පොකුණ අග්බෝ රජතුමා විසින් ඉදිකරවා ඇත. නාග පොකුණට එම නම ලැබී ඇත්තේ එහි පසුබිමේ දක්නට ඇති පෙණය සහිත නාග රූප නිසා විය යුතුය.
පොකුණු
මිහින්තලා පුඡා භුමියේ පිහිටා ඇති මෙම පොකුණු අතර සිංහ පොකුණු,නාග පොකුණ.කළු දිය පොකුණ ප්‍රධාන තැනක් ගන්නා අතර තවත් පොකුණු කිහිපයක් ද හමු වී ඇත. සිංහ පොකුණ යයි ව්‍යවහාර වුවද එය පොකුණක් නොව සිංහ මුඛයෙන් ජලය පිටවන දිය පිහිල්ලකි. කණ්ඨක චේතිය හා සන්නිපාත ශාලාව අසල ජිවත් වු භික්ෂුන් වහන්සේලාගේ පැන් පහසුව පිණිස විශේෂයෙන් ස්නානය පිණිස යයි සිතිය හැකි මෙම දිය පිහිල්ල සකස්කර ඇත්තේ පසු පාද දෙකින් සිට ගෙන සිටින ලෙස ගලින් නෙලන ලද ජිවමාන ප්‍රමාණයේ සිංහයකුගේ මුවින් ජලය පිටවන ආකාරයටය.
කළු දිය පොකුණ
පොකුණෙහි ඇති ජලය කළු පාටට පෙනෙන බැවින් එයට කළු දිය පොකුණ යන නම ලැබී ඇත.එක් පොහෝ දිනක කළු බුද්ධරක්ඛිත හිමියන් කළු දිය පොකුණු සමීපයෙහි ඇති තිඹිරිය ගසක් යටට වී ‘කාල කර්ම සුත්‍රය’ දේශනා කල බව අතීත පොත පතෙහි සඳහන් වේ.