සිරිපා අනුරුව-මිහිඳු ප්‍රතිමාව ලේක්හවුස් සිට මිහින්තලා පුදබිමට
අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ගේ දැවමය ප්‍රතිමා වහන්සේ කොළඹ සිට මිහින්තලා පුදබිම වෙත වැඩම කෙරෙන රිය පෙරහර ලේක්හවුස් මන්දිරය අබියසින් අද පෙරවරු 10.00ට ආරම්භ කෙරේ.
අද පෙරවරුවේ ආගමික වතාවත් සිදු කර, මහසඟරුවනෙහි සෙත් පිරිස් සජ්ඣායනයෙන් අනතුරුව මෙම පෙරහර ගමන් ආරම්භ කරයි.
අද පෙරවරු 10.30 සිට පස්වරු 12.00 දක්වා කැලණි රජ මහා විහාරයේදී විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආගමික වතාවත් පවත්වා, පස්වරු 12.30ට කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේදී කථිකාචාර්ය මාකොළ මංගල හිමියන්ගේ අනුශාසනයෙන් ද, පස්වරු 1.30ට කඩවත ශ්‍රී බිම්බාරාමයේදී හූරියගස්වැවේ සද්ධාවාස හිමියන්ගේ අනුශාසකත්වයෙන් ද, පස්වරු 2.30ට පහළ ඉඹුල්ගොඩ විජේවර්ධන ශ්‍රී මහා විහාරයේදී තෝරපිටියේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද, පස්වරු 4.30ට ගම්පහ ජාත්‍යන්තර සාම විහාරයේදී තලංගල්ලේ සෝමසිරි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද, සවස 5.30ට තුම්මෝදර සමිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් ගම්පහ මැදගම විහාරස්ථානයේදී ද, පස්වරු 6.30ට අමිතිරිගල රතනවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි බණ්ඩාරවත්ත ඉඳිගොල්ල විද්‍යාවංශ පිරිවෙනේ දී ද, රාත්‍රී 7.30 සිට පසුදා (7) පෙරවරු 8.00 දක්වා යක්කල වීදියවත්ත අරඹේගොඩැල්ල ශලීලදස්සනාරාමයේදී ගවරවෙල ගුණරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ද ආගමික වතාවත් සිදුකැරේ.
මෙම පෙරහර මිහින්තලා පුදබිම වෙත අනිද්දා (8) ළඟා වේ.
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනයෙන් 2325 වන වසර සපිරීමත්, මිහින්තලා ලේක්හවුස් වාර්ෂික ආලෝක පූජාව මෙම ජූනි මස 26,27,28 දිනවලදී මිහින්තලා පුදබිමේදී පැවැත්වීමත් නිමිත්තෙන් මෙම පූජෝපහාර පෙරහර පැවැත්වේ. මිහින්තලා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මෙම පින්කම ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතා ප්‍රධාන අධ්යක්ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් ලේක්හවුස් සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් සිදුකෙරේ.